
ඉර හැරෙන වෙලාවට විඩාබර නෙතු අගින්
පුරන් වූ කුඹුරු මත නටයි බලු නකුටු පැළ
බිත්තර වී සුවඳක් ඇවිත් රට අල කොළින්
හිත වාන් දොර අරින්නට යළිත් වෙර දරයි
මා පෙළා ඉවත යන මරදාන ගිනි සුළඟ
එකින් එක ලිපි ගොනුහි නැඟෙන අමිහිරි සුවඳ
දරනු බැරි උණුසුමින් පෙළෙන්නෙකි සිදාදිය
නඟින්නට කඳු මුදුන් පොර බදන දන අතර
ගිම්හාන, වසන්තය මල් පිපෙන සමයක්ද
කුණාටුව නිමා වී නැඟ එන්නෙ කඳු මතින්
රස්සාව හොයාගෙන මහන කොට ජීවිතය
දේදුනු වුණත් නොපිප දියවෙන්නෙ නෙත'දරින්
සඳ නැඟෙන වෙලාවට පුරා සඳෙළිය යටින්
අලුත් මල් පුරෝගෙන කඩා අරලිය ගහින්
යන්න හිත නටන 'මුත් වැටි වැටී වෙල් මතින්
කාලෙටත් නොකියාම අත්තම්මාත් ගිහින්
අත් ලිහී අත් බැඳී කැඩූ දිය වක්කඩින්
පිපෙන්නේ එරබදුත් පරණ මල් ගහේමද
කිරි කවඩි හස නඟන වන පෙතෙහි දොළ පහර
මිහිරි වස්දඬු රාව මතු කරයි සවනතෙහි
දිලි දිලී අහස් කුස නැඟෙන නිල් තරු අතර
ළසෝ ගීයක්ද දුර ඇසෙන්නේ වන පෙතින්
සිකුරු තරුවේ එළිය යට පිදුරු කමත් මැද
කවි ගැයූ දැරියකද මැවෙන්නේ අහස් ගඟ
විඩා බර මං දිගේ තැලී දුහුවිලි පයින්
ඇවිද යන මඟියෙක්මි මඟ බොහෝ දිග බැවින්
එහෙත් රන් එළියක්ය එ'මඟ අග දිලෙන්නේ
තුරු වැවෙන මල් පිපෙන කඳු මුදුන් පෙන්වමින්
picture - Greenwoods by Duncan George
No comments:
Post a Comment