Thursday, March 31, 2016

ඔබට හිමි අයිතියෙන් ඔබ නික්ම යනු මැනවි!



'තමන්ගේ සම්බන්ධය බිඳීමේ මානසික වැටීමෙන් ගොඩ එන්න බැරි වෙච්ච එක සම්බන්ධය නතර කරපු කොල්ලගේවත් කෙල්ලගෙවත් වැරද්දක් නෙමේ.' 


රොබරෝසියා පිපී කොවුල් නද වසත් කල
තුරු අගිසි නලවමින් වැයෙන බට නලා හඬ
ඔබේ එක බැල්මකින් නැවතුණා මෙන් දැනුණි
මුළු ලොවම එක සැණින් සැණකෙළියකින් වැයුණි

තබා ඔබ දෝත මත සලිත වන සුරතැඟිලි
ලබා ගිවිසිලි දෙදෙන දෙමංතල යා හැකිද
පුරා දුන් පුළුලුරේ උණුසුමින් මල්කමින්
පුරා සඳ නබෝ ගබ සැණින් මියැදිය හැකිද

ගඟ දියෙහි තාරකා ළපලු සෙවණැලි ඇඳුණ
සැඳෑ කල ළවැලි මත තැබූ පිය අප එකට
මහා සැඩ සුළඟකින් මකා ඔබ ගිය අරුම
දවා මිස හදවතම නිවන්නට හැක එ'ගින?

ඉරා සුර මධු සිහින පියාපත් ජීවිතෙන්
හළා කතරක පෙළා ඔබ ඇවිද ගිය තුටින්
රිසි විටෙක වෙන්වන්න ඔබට හිමි හිමිකමින්
පලා ලොව ඉරි තලා ගිනි නැඟිණි නියඟෙකින්

උරා බී නුරා සෙනෙහස හදින් වියළවා
සපදයෙකු පියාඹා යන විලස මල් ගසින්
නිවා සැනසිය හැකිද රිදුණු සිත එක සැණින්
වන වදුලු ළඟ මලින් උදුල මල් මතකයෙන්

පුරා කඳුළැලි ගලන කල මලානික ලෙසින්
නොලා අවසර සිනාසෙන මහත් දන මැදින්
ගැසූ ගල් අතින් ගෙන එක මිටට එක සැණින්
උදා වූ පියාඹන්නට නොහැකි සමයකින්

මුහුද වෙත ගලා යන සිලිලාර මිසක ලොව
කතර වෙත හාදු දෙන සිලිල් දිය හිඟ බැවින්
ඔබට හිමි අයිතියෙන් ඔබ නික්ම යනු මැනවි!

picture - Shaun William Kerr

තුරු වැවෙන මල් පිපෙන කඳු මුදුන් පෙන්වමින්



ඉර හැරෙන වෙලාවට විඩාබර නෙතු අගින්
පුරන් වූ කුඹුරු මත නටයි බලු නකුටු පැළ
බිත්තර වී සුවඳක් ඇවිත් රට අල කොළින්
හිත වාන් දොර අරින්නට යළිත් වෙර දරයි

මා පෙළා ඉවත යන මරදාන ගිනි සුළඟ
එකින් එක ලිපි ගොනුහි නැඟෙන අමිහිරි සුවඳ
දරනු බැරි උණුසුමින් පෙළෙන්නෙකි සිදාදිය
නඟින්නට කඳු මුදුන් පොර බදන දන අතර

ගිම්හාන, වසන්තය මල් පිපෙන සමයක්ද
කුණාටුව නිමා වී නැඟ එන්නෙ කඳු මතින්
රස්සාව හොයාගෙන මහන කොට ජීවිතය
දේදුනු වුණත් නොපිප දියවෙන්නෙ නෙත'දරින්

සඳ නැඟෙන වෙලාවට පුරා සඳෙළිය යටින්
අලුත් මල් පුරෝගෙන කඩා අරලිය ගහින්
යන්න හිත නටන 'මුත් වැටි වැටී වෙල් මතින්
කාලෙටත් නොකියාම අත්තම්මාත් ගිහින්

අත් ලිහී අත් බැඳී කැඩූ දිය වක්කඩින්
පිපෙන්නේ එරබදුත් පරණ මල් ගහේමද
කිරි කවඩි හස නඟන වන පෙතෙහි දොළ පහර
මිහිරි වස්දඬු රාව මතු කරයි සවනතෙහි

දිලි දිලී අහස් කුස නැඟෙන නිල් තරු අතර
ළසෝ ගීයක්ද දුර ඇසෙන්නේ වන පෙතින්
සිකුරු තරුවේ එළිය යට පිදුරු කමත් මැද
කවි ගැයූ දැරියකද මැවෙන්නේ අහස් ගඟ

විඩා බර මං දිගේ තැලී දුහුවිලි පයින්
ඇවිද යන මඟියෙක්මි මඟ බොහෝ දිග බැවින්
එහෙත් රන් එළියක්ය එ'මඟ අග දිලෙන්නේ
තුරු වැවෙන මල් පිපෙන කඳු මුදුන් පෙන්වමින්

picture - Greenwoods by Duncan George

Monday, February 22, 2016

සිනාසෙමි මම - අඳුරු නුබ කුස



ශීත සමයක රතැති
උදුනඟුරු අල්වාලන අඬුවකින්
පිළිස්සූ කලෙක මෙන්
මා හද මහත් වේදනාවෙන් පෙළෙන්නට විය
කවුළුවෙන් විසි වෙන කල රාත්‍රිය
විශාල දැවුමකින් විපිළසර වීය නුබ

මේ සියල්ල ඇරඹුණේ
ඔව්, එදා
කුමක් හෝ කළ යුතු යැයි
නිරන්තරයෙන් හැඟෙන්නට පටන් ගත් එදා
ඉවසිය නොහැකි තරමට ක්රූර විය
වංචාවේ මාවත්
ඌෂ්ණාධික විය කඳු ඉස්හි හිම මුදා හරිනා විලස පහතට
'කුමක් හෝ කළ යුතුය
කුමක් හෝ කළ යුතුය' මිස
රොබින් කුරුල්ලෙකුගේ ගීයක් නම් නොවුණි වන පෙත

කල්පනා කළෙමි මම කවි ලියුම පලක් නැති වග
දිනූ පසු තථ්‍යය මියැසිය ඇසිය යුතු බව
කෘශ වී වැහැරෙන්නට විය මා සිරුර
පෑදි දිය බොරව සඳ බිඳෙන්නට විය
බිණිය නොහැකි තරමට කම්මුල් එල්ලා වැටෙන්නට විය
සියලු දෙය සෙමින් අප්‍රාණික වන්නට විය

එනයින්... ඔව් එනයින්....

කුමක් හෝ කෙරුම අමතක කළෙමි මොහොතක
යළිත් මල් පිපෙන්නට විය මා හද
පුරා හඳ පායා චමත්කාරය මුතු අහුරක් විලස
විසිර යන්නට විය හාත්පස
යුක්තිය වෙනුවෙන් හඬ නැඟුම නිමා කළ මොහොතක
කුණාටුවක සේලරුවෙකු රළ හා බදන්නා මෙන් පොර
අයුක්තියත් සූරාකෑමත් දැක නැඟූ පහර සහ හැඬුම්
නතර කළ මොහොතක
අකුටිල නෙළුමක් මෙන් මා මත ශාන්තිය මිණිදැදිරි විය

මම සෙවීමි කිසිවෙක්
කියන්නට කිසිවක්
සිතාරයක ගර්භය පුපුරා යන්නාක් මෙන් නැඟූ හැඬුමක්
මගේ නොවූ යුක්තියකට සහ මට නොවූ අයුක්තියකට
බෑඟිරි නැඟූ රිදුමක්
නිමා කොට මට හිමි නිසල විහරණයට පය තැබීමි මම

මිත්‍රයනි, හැබැව, දසත ගිනි
මගේ පපු කුහරය වුව විවර විය හැක ඒ මත
එහෙත් මම අයුක්තිය නොවෙමි කිසි දින
සූරා කෑම නොවෙමි කිසිවෙකුත් කිසිවකුත්
එළෙඹි නිහැඬියාවට ඔබ දිගු කරන කල මා වෙත අත
ඔබට නොපෙනෙන කුඩා තාරකාවක් මෙන්
සිනාසෙමි මම - අඳුරු නුබ කුස

Picture - Vilja Lingonren.